පෞරාණික විහාර මන්දිරය සහිත උපුල්වන් ශ‍්‍රී විෂ්ණු මහා දේවාලය පුරා විද්‍යා ස්මාරකයකි. විහාර මන්දිරයෙහි විහාරානුබද්ධව නැගෙනහිර දෙසින් උතුරු දිසාභිමුඛව පිහිටා ඇත. දේව ප‍්‍රතිමාව උසස් නිර්මාණ මට්ටමක පවතින්නකි. මානුෂීය ප‍්‍රමාණයටම ඉදිකර ඇත. දඹුලූ ලෙන් විහාරගත විෂ්ණු ප‍්‍රතිමාවට ද සමානතාවයක් දක්වන්නකි. වාහනාරූඪ නොවන අයුරින් නිර්මිතය. මෙම දේවාලයෙහි නැගෙනහිර හා බටහිර දිසා බිත්ති මත කතරගම, සුමන සමන්, විභීෂණ හා ගම්භාර යන දෙවිවරුන්ගේ ප‍්‍රතිමා රූප වාහන සහිතවම ඇඳ ඇත. විෂ්ණු ප‍්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ අඩි 1 1/2 තරම් උස් ආසනයක් මතය. දේවාලයේ සිවිලිම වෙනත් දේවාල වල සිවිලිමට වඩා විශේෂත්වයක් උසුලන්නකි. එනම් මෙහි ලග්න දොලසම රූපීව දක්වා තිබීමය. ප‍්‍රතිමාවේ පූර්ණ බවක් දක්නට ලැබෙන අතර පිටුපස බිත්තියට බද්ධ වී ඇත. එවැන්නක් දඹුලූ පිළිමයේ දක්නට නොමැත. දේවාල ගෘහයේ චිත‍්‍ර නිරවුල් වන අතර ඉතා සරලය. සායම් භාවිතය ද නිරවුල් බවකින් පවති. ප‍්‍රතිමාවට තද නිල් පාට භාවිතා කොට ඇති අතර පසුකාලීනව ප‍්‍රතිමාව පමණක් සායම් කළ නිසා මෙසේ තද වර්ණයකින් දක්නට ලැබේද යන්න අපට පැහැදිලි නැත.

පෙර සිටම දේවාලයෙහි ඇතුල් මාළිගයට පිවිසීමට අවසර නැත. ප‍්‍රතිමාව ආවරණය කර ඇත. දර්ශනය නොවේ. ප‍්‍රතිමාව ආසන්නයට පිවිසෙන්නේ තේවාභාර තැන පමණි. පෞරාණික ප‍්‍රතිමාවට ඉදිරියෙන් තනි පිත්තලෙන්ම නිර්මාණය කර ඇති උපුල්වන් ශ‍්‍රී විෂ්ණු දේව ප‍්‍රතිමාව දර්ශනය වීමට සලස්වා ඇත. සළුපිලි ආභරණ වලින් සමලංකෘතය. එකී ප‍්‍රතිමාව උපුල්වන් ශී‍්‍ර විෂ්ණු මහා දේවාල පෙරහරේ වැඩමවන විශේෂ ප‍්‍රතිමාවයි. මහ පෙරහරෙහි දේව ප‍්‍රතිමා වැඩමවීමේ අවස්ථාව හා දේවාභරණ වැඩමවන අවස්ථාවට ජනතාව මහත් හරසරින් පෙළගැසී සම්බන්ධ වන්නේ මහ දෙවිඳුන්ගේ හා මහ දේවාලයේ ආශිර්වාදය ලබාගැනීමේ පැතුමෙනි.

ප‍්‍රතිනිර්මාණය කරන ලද ඓතිහාසික උපුල්වන් ශ‍්‍රී විෂ්ණු මහා දේවාලය

අභිනවයෙන් ඉදිකර ඇති උපුල්වන් ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය පෞරාණික උපුල්වන් ශ‍්‍රී විෂ්ණු දේවාලයට දකුණු පසින් ඉදිකර ඇත. එකී ස්ථානය ඓතිහාසික ස්ථානයකි. එනම් මෙම පූජා භූමියේ නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවූ ශිලාමය නිර්මාණ සහිතව ඉදිකළ පෞරාණික ස්ථානයයි. අදද එකී පෞරාණික දේවාලයෙහි ශිලාමය නෂ්ඨාවශේෂ අපට හමුවේ. නව දේවාල නිර්මාණය පෞරාණික දේවාලයෙහි නිර්මාණයට හානියක් නොවන ආකාරයෙන් ඉදිකොට තිබීම විශේෂත්වයකි. මේ දේවාලය නව නිර්මාණයක් වුවත් පුරාණ ශිලා නිර්මාණයක ස්වරූපය දක්නට ලැබේ. මෙහි පිහිටුවා ඇති ශිලාමය උළුවහු දැකීමෙන් අපට සිහි වන්නේ යාපහුව රාජධානියයි. එසේම වහලය දරා සිටින සුවිසල් කණු නොබිදුණු ශිලා ස්ථම්භය මෙහි දක්නට ලැබෙන නිර්මාණ අනුරාධපුර පොළොන්නරු ගෘහ කලාවට අනුගත වන අකාරයට ඉදිකොට ඇත. දේවාලය වටා දිය අගලක් නිර්මාණය කර එහි දියේ පිපෙන මල් හා මත්ස්‍යන් පිහිනා යන පොකුණක් බවට පත් කර ඇත. ප‍්‍රධාන ද්වාර දෙකකින් පිවිසෙන දේවාලයේ පිටත මාළිගාව හා වැඩසිටින මාළිගාව වශයෙන් කොටස් දෙකකි. බිමට කළුගල් අතුරා ඇත. දේවාලය නැගෙනහිර දිසාභිමුඛව නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික නා බෝධීන් වහන්සේ දර්ශනය වන ආකාරටය. දේවාලයේ සිවුකොන නැගෙනහිර, දකුණ, බටහිර හා උතුර යන දිසා හතරෙහි විශේෂ පහන් ගෘහයන් හතරක් ස්ථිරව සාදා ඇත. එය ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ හා වෛශ‍්‍රවණ යන සතරවරම් මහ දෙවිවරු වෙනුවෙනි. දේවාල මළුවෙහි නැගෙනහිර ධෘතරාෂ්ඨ පහන් ගෘහය ආසන්නයේ සතර වරම් දෙවිවරුන්ගේ පහන් ගෘහ අභ්‍යන්තරයේ පෙරහර මංගල්‍යයෙහි චාරිත‍්‍රානුකූල කප් සිටුවීම සදහා වෙන්කර ඇති ස්ථානය දැකගත හැක.

ඇතුල් මාළිගාව හෙවත් වැඩසිටින මාළිගාවේ ප‍්‍රතිමාව තැන්පත් ආසනය අඩි 02 ක් උසැතිව නිර්මාණය කර ඇත. එය ශිලාමය ආසනයකි. ඒ මත මානවරූපි ප‍්‍රමාණයට ශිලාමය ප‍්‍රතිමාව නිර්මාණය කොට ඇත. දේව ප‍්‍රතිමාවේ දකුණු පාදය ඉදිරියට තබා ගමන් කිරීමට සූදානම් වන විලාශයට නිර්මාණය කර ඇත්තේ ප‍්‍රතිමාවට සජීවි බවක් එක් කිරීමටය. කලාකරුවාගේ එකී පරමාර්ථය උපරිමයෙන්ම මල්ඵල ගැන්වී ඇත. ප‍්‍රතිමාවේ සංඛය, ඡුත‍්‍රය, නෙළුම් මල, හා යගදාව යන සංකේත හතරම දරාගෙන ඇත. ශිලාමය ප‍්‍රතිමාවේ හිසමත රන්රිදී, මුතු මැණික් සහිත අගනා ඔටුන්නක් පළදා ඇත. සියලූ සළුපිලි ආභරණ ද නොඅඩුව පළදා ඇති ආකාරය දක්නට ලැබේ. මෙම ප‍්‍රතිමාව මහ ජනතාවට ප‍්‍රදර්ශනය වන්නේ වර්ෂයට එක්වරකි. එනම් එක් දිනයක එක් හොරාවකදී පමණි. ඒ පෙරහර මංගල්‍යයට සමගාමීව චාරිත‍්‍රානුකූලව නානුමුර පවත්වා නව සළුපිලි ආභරණ පැලැන්දවීමෙන් පසුවය.