ඔලබොඩුව රජ මහා විහාරයෙහි සමාරම්භය

වීදියගොඩ සඟ පරපුරේ ක‍්‍රමවත් විකාශනය ආරම්භ වන්නේ විසිදාගම සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙනි. බහුශ‍්‍රැත, විනය ගරුක ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම වනාහි වීදියගොඩ සග පරපුරේ ස්වර්ණමය යුගයකි. වීදියගොඩ මහා විහාරය මල්වතු විහාර පාර්ශ්වයේ විහාරස්ථානයක් ලෙස සංවර්ධනය වන්නේ උඩරට සිට භික්ෂූන් වහන්සේලා රයිගම්පුර හරහා දකුණු ප‍්‍රදේශයට වැඩමවීම නිසයි. විශේෂයෙන් කුඩා ගිනිගත්පිටියේ දීපංකර, දෝපේ ගුණරතන හා බෙම්තර සුදස්සන යන ස්වාමීන් වහන්සේලා පහතරට වැඩමවන ගමනේදී ප‍්‍රධාන විවේකස්ථානය වශයෙන් වීදියගොඩ මහා විහාර භූමියෙහි වැඩ සිටියාසේම එකල බෝගහවත්ත ලෙස හැදින් වූ ඔලබොඩුව උපුල්වන් ශී‍්‍ර විෂ්ණු මහා දේවාල භූමි පරිශ‍්‍රයෙහි වැඩ වාසය කර ඇත.

ස්වර්ණමය යුගයක නියමුවාණන්

අතිපූජ්‍ය උඩුවේ හේමාලෝක මාහිමිපාණන්

ඔලබොඩුව ශ‍්‍රී ජයවර්ධනාරාම රජ මහා විහාරය, තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන විහාරද්වයාධිපති

පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික හිමිපාණන්

ශ‍්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාර භාරකාර,
ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති

නවම් මහා පෙරහැර මංගල්‍යය

ඔලබොඩුව රජ මහා විහාරානුබද්ධව පවතින උපුල්වන ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයේ පවත්වනු ලබන පුජා චාරිත‍්‍රවල ප‍්‍රධාන කටයුත්ත වන්නේ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහර මංගල්‍යයයි. සෑම වසරකම පවත්වනු ලබන පෙරහර වනාහි බොහෝ දුරට උඩරට පෙරහර චාරිත‍්‍රවලට අනුගතව මහා විහාර බෞද්ධාගමික චාරිත‍්‍ර රකිමින් පැවැත්වීම විශේෂත්වයකි.

එසේම මෙම පෙරහරේ ඉතිහාසය ද බොහෝ ඈතට දිවයන බව දක්නට ලැබෙන අතර වර්තමානයේ මෙම පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ කි‍්‍ර.ව.1950 වර්ෂයේදී පමණය. එකල ඔලබොඩුව ග‍්‍රාමයේ ගම්පති පදවිය දැරූ යූ.ඩි.ඒමිස් රාළහාමි හා තලගල ගම්පති පදවිය දැරූ කේ.ඩි.ඩබ්.ජයවර්ධන රාළහාමිත්, මිල්ලෑව ගම්පති පදවිය දැරූ සයිමන් රාළහාමිත් යන ප‍්‍රභූ දානපතීන් විසින් පෙරහර නැවත සංවිධානය කොට පැවැත්වූ බවට තොරතුරු ඇත්තේය.

එසේම ඉන් අනතුරුව කි‍්‍ර.ව.1970 වර්ෂයේදී නැවතත් රයිගම්පුර විෂ්ණු දේවාලගත පෙරහර මංගල්‍යය පවත්වා ඇත. එහෙත් එම අවස්ථාවේද වාර්ෂික පෙරහර පවත්වාගෙන යාම පිණිස වැඩපිළිවලක් සකස් නොවූ අතර නැවතත් පෙරහර පවත්වනු ලබන්නේ කි‍්‍ර.ව.2012 වර්ෂයේදීය.

උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය

පෞරාණික විහාර මන්දිරය සහිත උපුල්වන් ශ‍්‍රී විෂ්ණු මහා දේවාලය පුරා විද්‍යා ස්මාරකයකි. විහාර මන්දිරයෙහි විහාරානුබද්ධව නැගෙනහිර දෙසින් උතුරු දිසාභිමුඛව පිහිටා ඇත. දේව ප‍්‍රතිමාව උසස් නිර්මාණ මට්ටමක පවතින්නකි. මානුෂීය ප‍්‍රමාණයටම ඉදිකර ඇත. දඹුලූ ලෙන් විහාරගත විෂ්ණු ප‍්‍රතිමාවට ද සමානතාවයක් දක්වන්නකි. වාහනාරූඪ නොවන අයුරින් නිර්මිතය. මෙම දේවාලයෙහි නැගෙනහිර හා බටහිර දිසා බිත්ති මත කතරගම, සුමන සමන්, විභීෂණ හා ගම්භාර යන දෙවිවරුන්ගේ ප‍්‍රතිමා රූප වාහන සහිතවම ඇද ඇත. විෂ්ණු ප‍්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ අඩි 1 1/2 තරම් උස් ආසනයක් මතය.

ඔලබොඩුව විහාර වංශය 

පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික හිමි

රයිගම්පුර ඓතිහාසික බව ගෙනහැර දක්වමින් ඔලබොඩුව විහාර වංශය ලියා දැක්වීම ඉතාමත් කාලෝචිත පියවරකි. වීදියගොඩ සඟ පරපුරට සමන්නාගත වූ ඔලබොඩුව වනාහි පුරාණ විෂ්ණු දේවාලය සහිත රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ වන්දනාවට හා ගෞරවයට පාත‍්‍ර වූ පුණ්‍ය භූමියකි. එසේම එහි ඉතිහාසය බලන කළ බලවත් මෙන්ම ගුණවත් ගුණවත් මෙන්ම නැණවත් සංඝ පිතෘන් වහන්සේලා වැඩවාසය කළ පුණ්‍ය භූමියකි. එබැවින් උන්වහන්සේලාගේ තොරතුරු රැුස්කොට ලියා තැබීමටගත් මේ පියවර අනාගත ජනී ජනයා වෙනුවෙන් කළ උසස් කටයුත්තක් වන්නේය.

එසේම මේ විහාරයේ පවතින විහාරාංග හා බැදුණු ඓතිහාසික බවත් කලාත්මක බවත් පැහැදිලිකොට ලියා තැබීම ශාස්ත‍්‍රකාමීන්ට ද උපකාරයකි. මේ සියලූ කරුණු වලින් පෝෂිතව ශාස්ත‍්‍රපති ඔලබොඩුවේ ධම්මික අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදනය කළ ඔලබොඩුව විහාර වංශය නැමැති මේ පොත දායක කාරාකාදීන්ගේ ශ‍්‍රද්ධාවත්, ශාස්ත‍්‍රකාමීන්ගේ බුද්ධි පිපාසයත්, පරපුරගත සංඝයාගේ අභිමානයත්, ගොදුරුගම් ජනයාගේ සතුටත් වඩවන නිර්මාණයක් ලෙස පැහැදිලි කිරීම විය යුත්තක්ම වන්නේය.

Facebook පිටුව

ලංකාරාමය – ඉතාලිය Facebook පිටුව

වීඩියෝ පිටුව