රයිගම්පුර ඓතිහාසික විෂ්ණු දේවාලගත පෙරහර හා පූජා චාරිත්‍ර විධි

ඔලබොඩුව රජ මහා විහාරානුබද්ධව පවතින උපුල්වන ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පවත්වනු ලබන පුජා චාරිත්‍රවල ප්‍රධාන කටයුත්ත වන්නේ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහර මංගල්‍යයයි. සෑම වසරකම පවත්වනු ලබන පෙරහර වනාහි බොහෝ දුරට උඩරට පෙරහර චාරිත්‍රවලට අනුගතව මහා විහාර බෞද්ධාගමික චාරිත්‍ර රකිමින් පැවැත්වීම විශේෂත්වයකි. එසේම මෙම පෙරහරේ ඉතිහාසය ද බොහෝ ඈතට දිවයන බව දක්නට ලැබෙන අතර වර්තමානයේ මෙම පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ ක්‍රි.ව.1950 වර්ෂයේදී පමණය. එකල ඔලබොඩුව ග්‍රාමයේ ගම්පති පදවිය දැරූ යූ.ඩි.ඒමිස් රාළහාමි හා තලගල ගම්පති පදවිය දැරූ කේ.ඩි.ඩබ්.ජයවර්ධන රාළහාමිත්, මිල්ලෑව ගම්පති පදවිය දැරූ සයිමන් රාළහාමිත් යන ප්‍රභූ දානපතීන් විසින් පෙරහර නැවත සංවිධානය කොට පැවැත්වූ බවට තොරතුරු ඇත්තේය.

ඔලබොඩුව රජ මහා විහාරානුබද්ධව පවතින උපුල්වන ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පවත්වනු ලබන පුජා චාරිත්‍රවල ප්‍රධාන කටයුත්ත වන්නේ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහර මංගල්‍යයයි. සෑම වසරකම පවත්වනු ලබන පෙරහර වනාහි බොහෝ දුරට උඩරට පෙරහර චාරිත්‍රවලට අනුගතව මහා විහාර බෞද්ධාගමික චාරිත්‍ර රකිමින් පැවැත්වීම විශේෂත්වයකි. එසේම මෙම පෙරහරේ ඉතිහාසය ද බොහෝ ඈතට දිවයන බව දක්නට ලැබෙන අතර වර්තමානයේ මෙම පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ ක්‍රි.ව.1950 වර්ෂයේදී පමණය. එකල ඔලබොඩුව ග්‍රාමයේ ගම්පති පදවිය දැරූ යූ.ඩි.ඒමිස් රාළහාමි හා තලගල ගම්පති පදවිය දැරූ කේ.ඩි.ඩබ්.ජයවර්ධන රාළහාමිත්, මිල්ලෑව ගම්පති පදවිය දැරූ සයිමන් රාළහාමිත් යන ප්‍රභූ දානපතීන් විසින් පෙරහර නැවත සංවිධානය කොට පැවැත්වූ බවට තොරතුරු ඇත්තේය. එසේම ඉන් අනතුරුව ක්‍රි.ව.1970 වර්ෂයේදී නැවතත් රයිගම්පුර විෂ්ණු දේවාලගත පෙරහර මංගල්‍යය පවත්වා ඇත.

එහෙත් එම අවස්ථාවේද වාර්ෂික පෙරහර පවත්වාගෙන යාම පිණිස වැඩපිළිවලක් සකස් නොවූ අතර නැවතත් පෙරහර පවත්වනු ලබන්නේ ක්‍රි.ව.2012 වර්ෂයේදීය. තත් විහාරාධිපති උඩුවේ හේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අතිරේඛ සංස්කෘතිකාංග රාශියක්ද එකතු කරමින් උසස් සංස්කෘතික මංගල්‍යයක් ලෙස දැනට වාර්ෂිකව පෙරහර පවත්වාගෙන යනු ලබන්නේය. තවද මතු කාලයේ බාධාවකින් තොරව පෙරහර පවත්වාගෙනයනු පිණිස විහාරාධිපති අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක කාරකාදීන් කරුණු කිහිපයක්ම සකස් කොට ඇත්තේය. ඒ අතර ක්‍රි.ව.2018 මාර්තු මස 18 වන දින අංක 2064/29 දරණ රජයේ ගැසට් පත්‍රය මගින් මෙම පෙරහර මංගල්‍යය අනුමත කොට ඇත්තේය. එය මතු පරපුරට මෙම උත්තම කටයුත්ත පවත්වාගෙන යාම පිණිස බලවත් අනුබලයක් වනු ඇත.  කෙසේ වෙතත් ලක්දිව බෞද්ධ සංස්කෘතියේ පෙරහර යන සංස්කෘතික අංගයට හිමිවන්නේ සුවිශේෂි තැනකි. ඒ අතර මුදුන් මල්කඩ ලෙස අප සලකන්නේ ශ්‍රී දළදා පෙරහරයි. දළදා වහන්සේට උපහාර දැක්වීම පිණිස වාර්ෂිකව පවත්වන මෙම පෙරහර පූර්වාදර්ශය කර ගනිමින් පවත්වනු ලබන රයිගම්පුර විෂ්ණු දේවාලගත පෙරහර බොහෝදුරට දළදා පෙරහරේ චාරිත්‍ර හා සම්ප්‍රදායන් ගරු කරමින් වාර්ෂිකව පවත්වාගෙන යාමට කටයුතු කිරීමට පෙරහර හා බැඳුණු සියලු දෙනාගේම සුවිශේෂි අපේක්ෂාවකි. 

ප්‍රධාන බස්නායක නිළමේතුමා පෙරමුණේ රාලට පෙරහර සන්නස ලබාදීම

රයිගම්පුර පෙරහර වර්තමානයේ අඛණ්ඩව පවත්වාගෙන ගියද පෙරහරේ ඉතිහාසය බොහෝ ඈතට දිවයන බව අපගේ අදහසයි. දළදා පෙරහැරේ මෙන් රාජකාරී සේවා සම්ප්‍රදායක් මේ වන විට නොපැවතුනත් පෞරාණිකව එවැනි තත්වයක් පැවති බවට තොරතුරු ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ රයිගම්පුර විෂ්ණු දේවාලගත පෙරහරට බොහෝ ඈතට දිවයන ඉතිහාසයක් ඇති බවයි. විශේෂයෙන්ම පෙරහැරට අවශ්‍ය යම් යම් සේවා පහසුකම් සපයා ගැනීම පිණිස ශිල්පීය සේවා ක්‍රමයක් දේවාලය ආශ්‍රිතව වූ ගොදුරුගම් කිහිපයකම දක්නට ලැබෙන්නේය.

විහාරගත නැකැත් චාරිත්‍ර

මේ අනුව විෂ්ණු මහා දේවාලයේ වාර්ෂිකව සිදුකරන පූජා පෙරහර මංගල්‍යය පුරාණයේ සිටම ආරම්භ වී ඇත්තේ එක්තරා ජ්‍යොතිෂමය පදනමක සිටය. ඒ අනුව සියලු සුබ නැකැත් හා වේලාවන් අනුව පෙරහර මංගල්‍යය සියලු පූජා චාරිත්‍රවිධි සිදුවේ. මේ සඳහා සුබ නැකත් පිළියෙල කිරීම පිණිස දෛවඥයන් පිරිසක් සිටි අතර ඔලබොඩුව කලා ගම්මානය ආශ්‍රිතව ඔවුන් තවමත් වාසය කරති. එකී දෛවඥයින් වරින් වර තමන්ට මේ පැවරෙන මේ වගකීම භාරගෙන ඉටු කිරීමේ සම්ප්‍රදාය ඉතා පුරාණ වූවකි. විශේෂයෙන්ම තම සේවා රාජකාරියක් ලෙස සලකන ඔවුන් සියලු පෙරහර නැකත් සකස්කොට විහාරයේ නායක ස්වාමීන් වහන්සේට පිළිගන්වා ජනයාට දැනුම්දීමට කටයුතු කරයි. මෙසේ මහ දේවාලයේ නැකත් චාරිත්‍ර අනුව ගොඩනැගුණු ඔලබොඩුව ජ්‍යොතිෂ පරපුරේ සේවාව ඔලබොඩුවට පමණක් නොව බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත.

ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණූ මහා දේවාලයෙහි ප්‍රධාන බස්නායක නිළමේතුමා දේවාභරණ වැඩමවීම

කුඹල් කර්මාන්තය

විෂ්ණු මහා දේවාලයේ විශේෂ පූජා, මුරුතැන් පූජා, දෛනික පූජා ඇතුළු තේවා පූජා කටයුතු සඳහා අවශ්‍ය මැටි බඳුන් නිර්මාණය කර එකී භාණ්ඩ නැවුම් පූජා කිරීමේ පරමාර්ථයෙන් කුඹල් කර්මාන්තය පිළිබඳ දක්ෂ නිර්මාණ කරුවන්ගෙන් සැදුම්ලත් පිරිසක් ඔලබොඩුව ගමේ පදිංචිව දේවාල කාර්යයට දායක වී ඇත. විවිධ පළාත්වලින් පැමිණෙන සැදැහැවතුන් විසින් විශේෂ මුරුතැන් සහිත අලුත් සහලින් පිසගන්නා ක්‍ෂිර ආහාර පූජා පිළියෙල කර ගන්නේ පූජා භූමියට පැමිණීමෙන් පසුවය. එම බැතිමතුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ද කුඹල් කර්මාන්තයේ ශිල්පීන් ඉදිරිපත් වී ඇත.
අදත් මේ කර්මාන්තය කරවන දක්ෂ ශිල්පීන් ඔලබොඩුව කනත්තගොඩ ගමේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යමින් මහ පරිමාණයෙන් වෙළඳ පොලක් ආරම්භ කර ඇත. මෙම කර්මාන්ත පුරයට ගිය පසු විවිධ නිර්මාණයන්ගෙන් සැදුම්ලත් මැටි බඳුන් නිමවන අයුරු දැක බලාගත හැක.

රජක ග්‍රාමය

ඔලබොඩුව රජමහා විහාරය ඉදිරිපිට ඇති කුඩා ගම්මානය ඔලබොඩුව රදාගම නමින් රජමහා විහාර ඉතිහාසයට එකතු වී ඇත. මහ දේවාල පරිශ්‍රයේ සියලු වතාවත් කටයුතු භාරව වෙන් වී තිබුනේ ආසන්නයේම පදිංච් මෙම ගම්වැසියන් වෙතය. මහ දේවාලයේ තේවා පූජා හා පෙරහැර චාරිත්‍ර සඳහා යොදා ගන්නා උඩු වියන්, පාවඩ, වටතිර සහිත සියලු පූජා පිරුවට සම්පාදනය කරමින් විෂ්ණු මහා දෙවිදුන් වෙනුවෙන් තම රාජකාරි කටයුතු සිදු කර ඇත. මහ දේවාලයේ නොනිමෙන පහනේ වගකීම දරමින් මහ දේවාලය ඇතුථ සතර වරමි මහ දෙවිදුන් වෙනුවෙන් ද දෛනිකව නොනිමෙන පහන් සීළු පවත්වාගෙන යාම මෙම ගම්වැසියන් විසින් ඉටුකරණ ලද වගකිමකි. එය ඔවුන්ට ලැබුණු මහත් භාග්‍යක් සේ සලකා ඇත.
පෞරාණික චාරිත්‍ර පවත්වන අවස්ථාවේ දී එම පූජා සඳහා අවශ්‍ය පන්දම් විලක්කු සකසා සැපයීමට අමතරව මහ පෙරහර වීථි සංචාරය කිරීමේ දී අවශ්‍ය ආලෝකය සැපයීමේ වගකීමද පැවරී තිබුණේ මෙම ගම්මානයටය. ඒ සඳහා නොනිමෙන විශාල පන්දම් හා පොල් පහන් භාවිතා කර ඇති බව පෙනේ. වර්තමානයේ එකී පහන් හා පන්දම් වෙනුවට විශේෂ කොප්පරා පහනක් දල්වා පෙරහැර මංගල්‍යයට ආලෝකය ලබා දීමට පියවර ගෙන ඇත. මහ දේවාලයේ සිට වැඩමවාගෙන යන දේවාභරණ මංගල හස්ති රාජයාගේ රන්සිවිගෙයි තැන්පත් කිරීමෙන් පසු මඟුල් ඇතු ගමන් කරන්නේ පාවඩ මතිනි. වීථි සංචාරය කර නැවතත් මහ දේවාලයට ගෙවදීම දක්වා එකී ගෞරවණීය වූ කාර්යය මෙම ගම්වැසියන්ට උරුමව තිබූ වටිනා දායාදයකි. එකී චාරිත්‍ර අදත් පෙරහැර මංගල්‍යයේ නොසිද පවත්වාගෙන යාම විශේෂත්වයකි.
ඉහත සඳහන් රාජකාරි කටයුතු නොපිරිහෙලා සැලකිය යුතු මට්මකින් මෙම ගම්වැසියන් අදත් ඉටු කරනු ලබන්නේ මහත් හර සරින් හා පුරාණ චාරිත්‍ර විධි අනුගමනය කරමිනි. මාසිකව වාර්ෂිකව හා පෙරහැර පූජා අවස්ථා වලදී සිදු කරන වතාවත් සැපයීමේ දී මෙම ගම්මානයෙන් ලබා දෙන සේවය අගය කළ යුත්තකි. එබැවින් ඔලබොඩුව රදාගම ඔලබොඩුව මහ වෙහෙර සතු අගනා සේවා සම්පතකි.

නර්තන ග්‍රාමය

ඔලබොඩුව රයිගම්පුර විෂ්ණු දේවාල මහ පෙරහැරට රාජකාරී සේවාවන් සැපයූ පිරිස් අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ නර්තන ශීල්පීන්ය. මෙසේ පුරාණයේ පෙරහැරේ රාජකාරී කටයුතු කළ නර්තන ශිල්පීන් හා බෙර, තම්මැට්ටම් හා වෙස් මුහුණු නිර්මාණය කළ ශීල්පීන්හට සේවා ගම්මුර පවා ලබාදී තිබූ බව ජනප්‍රවාදගත තොරතුරු ඇත. විශේෂයෙන්ම ඔලබොඩුව පෙරහැරගත නැටුම් ශිල්පීන්ගේ නැටුම් සම්ප්‍රදාය තුළ ඔවුන්ටම ආවේණික වූ ලක්ෂණ මෙන්ම උඩරට හා සබරගමු නැටුම්වල ප්‍රවීණත්වයද ඔවුන් තුළ දක්නට ලැබේ. වර්තමානය දක්වාම අසන්නට දකින්න ලැබෙන ඔලබොඩුව කලා පරපුර පිළිබඳව තොරතුරු අල්ප වූවත් ඔවුන්ගේ කාර්යය සංසිද්ධිය සුළුපටු නොවේ. රජවරුන්ට පවා සේවා පහසුකම් සැපයූ නැටුම් ශිල්පීන් ඒ අතර වාසය කොට ඇත. වර්තමාන නැටුම් ශිල්පීන් නිතර සිහිකරන ඔවුන්ගේ ආදී කතෘවරුන් ලෙස පිළිගන්න සාදා ගුරුන්නාන්සේ සහ සොයියා ගුරුන්නාන්සේ යන දෙදෙනා අතර සොයියා ගුරුන්නාන්සේ සෙංකඩගල ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අණබෙර කරුවෙකු වශයෙන් සේවය කොට ඇත. මේ අනුව බලන කළ ඔලබොඩුවේ සාම්ප්‍රදායික කලා පරපුර තම කලා කුශලතාවයන් රජවරුන්ගේ පවා ප්‍රසාදය දිනාගත් පිරිසක් බවයි. තව ද මොවුන් නාට්‍ය කලාවට පමණක් නොව නාට්‍ය කලාවට සම්බන්ධ උපකරණ නිර්මාණයේද නිපුණයෝය. මහ පෙරහරට අවශ්‍ය වූ බෙර, තම්මැට්ටම් ආදී වූ සියලු උපකරණ ඔවුන් විසින්ම නිර්මාණය කළ බවට තොරතුරු ඇත්තේය. එසේම වර්තමානය වනවිට ද ලෝක පූජිත කලා කරුවන් මෙම පරපුරෙන් බිහිවී ඇත. ඒ අතර සාදිරිස් ගුරුන්නාන්සේ, ලියොන් ගුරුන්නාන්සේ ඔලබොඩුව කලා පරපුරේ රන් සළකුණුය.

උපුල්වන් ශ්‍රී මහා දේවාලයේ තේවාව සඳහා යොදාගත් පැරණි භාණ්ඩ