ඔලබොඩුව රජ මහා විහාරයෙහි සමාරම්භය

වීදියගොඩ සඟ පරපුරේ ක‍්‍රමවත් විකාශනය ආරම්භ වන්නේ විසිදාගම සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙනි. බහුශ‍්‍රැත, විනය ගරුක ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම වනාහි වීදියගොඩ සග පරපුරේ ස්වර්ණමය යුගයකි. වීදියගොඩ මහා විහාරය මල්වතු විහාර පාර්ශ්වයේ විහාරස්ථානයක් ලෙස සංවර්ධනය වන්නේ උඩරට සිට භික්ෂූන් වහන්සේලා රයිගම්පුර හරහා දකුණු ප‍්‍රදේශයට වැඩමවීම නිසයි. විශේෂයෙන් කුඩා ගිනිගත්පිටියේ දීපංකර, දෝපේ ගුණරතන හා බෙම්තර සුදස්සන යන ස්වාමීන් වහන්සේලා පහතරට වැඩමවන ගමනේදී ප‍්‍රධාන විවේකස්ථානය වශයෙන් වීදියගොඩ මහා විහාර භූමියෙහි වැඩ සිටියාසේම එකල බෝගහවත්ත ලෙස හැදින් වූ ඔලබොඩුව උපුල්වන් ශී‍්‍ර විෂ්ණු මහා දේවාල භූමි පරිශ‍්‍රයෙහි වැඩ වාසය කර ඇත.

පොළොන්නරු යුගයට අයත් රයිගම්පුර උපුල්වන් ශ‍්‍රී විෂ්ණු මහා දේවාලය හා ඊටත් ඉපැරණි යැයි සැලකෙන ගම්භාර දේවාලය පිහිටි මෙම භූමිය පහත රටට මෙන්ම දකුණට වැඩමවන භික්‍ෂූන් වහන්සේට පමණක් නොව ගිහි ජනතාවට ද සුවදායක අපූරු නවාතැන් බිමක් විය. උඩරට හා දකුණ අතර සංචාරය කරන මහ ජනතාවට රයිගම්පුර හරහා පානදුර තොටමුණ දක්වා දේශීය, විදේශිය වෙළදාමේ නියුතු වෙළදුන්ට නවාතැන් ස්ථානය වී තිබුණේ මෙම පුණ්‍ය භූමියයි. වන්දනා චාරිකාවේ නියුතු මහ ජනතාව රුවන්පුර මහ සමන් දේවාලය ශ‍්‍රී පාදස්ථානය කතරගම දේව වන්දනාව ආදී ස්ථානයන් වැඳ පුදා ගැනීමට යන චාරිකාවේදී බෝගහවත්ත නම් මෙම ස්ථානයේ නවාතැන් පහසුකම් සලසාගෙන ඇත. මහ දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයට සමගාවීම සිදුවෙන ආගමික වත් පිළිවෙත් සිදු කරනු ලැබුවේ වීදියගොඩ මහා විහාරයේ විහාරාධිපතීන් වහන්සේගේ නායකත්වයෙනි. විසිදාගම සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසුව වීදියගොඩ මහා විහාර නායක පදවියට පත් වූ පුංචි මඩපාත සෝනුත්තර ස්වාමීන්ද්‍රයන් වහන්සේ රයිගම්පුර උපුල්වන් ශ‍්‍රී විෂ්ණු මහා දේවාලය සහිත පූජා භූමිය ගැන විශේෂ අවධානයක් යොමු කළ යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ බොහෝ අවස්ථාවලදී බෝගහවත්ත අරමෙහි නේවාසිකව වැඩවාසය කරමින් සියලූ ආගමික කටයුතු මැනවින් සිදුකර ඇත. ඔලබොඩුවේ දායකකාරකාදීන් වීදියගොඩ මහ විහාරයට ගොස් ඔලබොඩුව පූජා භූමියට ස්ථිරවම වැඩ සිටීමට සුදුසු ස්වාමීන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය වරක් දෙවරක් නොව කිහිපවරක්ම දන්වා ඇත. එහි ප‍්‍රතිඵලය වූයේ පුංචි මඩපාත සෝනුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා අතරින් බොලබොටුවේ ශී‍්‍ර සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔලබොඩුව රජ මහා විහාරයේ විහාරාධිපති වශයෙන් පත්කොට නිත්‍ය නේවාසිකත්වයට පමුණුවීමයි.

බොලබොටුවේ ශ‍්‍රී සුමංගල මාහිමි

වීදියගොඩ මහා විහාරාධිපති පදවිය ලැබ කරවූ පුංචි මඩපාත සෝනුත්තර මාහිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා සයනමකි. එයින් තෘතිය ශිෂ්‍ය රත්නය වන බොලබොටුවේ ශ‍්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වීදියගොඩ පුරවරයට නොදුරු ගම්මම්පිල ග‍්‍රාමයේ උප ගම්මානයක් වන බොලබොටුවේ උපත ලබා ඇත. විදියගොඩ මහ වෙහෙරේ පැවිදිව සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මංගල උපෝසථාගාරයේදී උපසම්පදා සම්පත්තියට පත්වීමෙන් පසු වැඩම කර ඇත්තේ ඔලබොඩුව රජ මහා විහාරයටයි. ස්වකීය ගුරු දේවයන් වූ පුංචි මඩපාත මාහිමියන් විවේකයක් ලද සෑම අවස්ථාවකදී ඔලබොඩුව ආවාසයට වැඩමවන බොහෝ අවස්ථාවලදී තම තනියට කැදවාගෙන එනු ලබන්නේ බොලබොටුවේ සුමංගල සාමණේරයන් වහන්සේය. එබැවින් කුඩා කල සිටම සුමංගල සාමණේරයන් වහන්සේට ඔලබොඩුව ආරාමය ඉතා හොදින් හුරුපුරුදු තැනක් විය. මහ දේවාලය ආශ‍්‍රිත පූජා භූමියෙහි බෞද්ධාගමික පරිසරයක් නිර්මාණය කරමින් විහාරාංග කිහිපයක් සංවර්ධනය කරන ලදී. තලගල සම්භාවනීය පරපුරක් වන මුරගේ පරම්පරාවෙන් හා ඔලබොඩුවේ සම්භාවනීය පරපම්පරාවකට අයත් පිටිපනගේ පරපුරෙන් කුල දරුවන් දෙදෙනෙක් පැවිදි කරවනු ලැබුවේ තලගල ධම්මරතන හා ඔලබොඩුවේ ධම්මානන්ද යන නමිනි. සුමංගල මාහිමිපාණන් වහන්සේ කුඩාකල සිට ශික්‍ෂාකාමී සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කර ඇත. එබැවින් මහ ජනතාව මහත් ගෞරවයෙන් බෝසත් ගුණ ඇති තෙරුන් වහන්සේ නමක් සේ සලකා ඇත.

ඔලබොඩුවේ ධම්මානන්ද මාහිමි

ඔලබොඩුවේ සම්භාවනීය පරපුරක් වන පිටිපනගේ පරපුරෙන් පැවත එන පිටිපනගේ දොන් ආගිරිස් විදානේ යන අයගේ පුත‍්‍ර රත්නයක් ලෙස 1892 අපේ‍්‍රල් මස 30 වන දින උපත ලබා ඇත. එවකට ඔලබොඩුව රජ මහා විහාරාධිපතිව වැඩ විසූ බොලබොටුවේ ශ‍්‍රී සුමංගල මාහිමිපාණන්ගේ හා විහාරාධිකාරී, තලගල ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1906 මැයි මස 06 වන දින ප‍්‍රවෘජ්‍යා භූමියට පත් වී ඇත. ඉහත නම් සඳහන් ආචර්යන් වහන්සේලා දෙනමගේ හා හොරගල ගුණතිලකාරාමාධිපතිව වැඩ විසූ ඇමටියගොඩ විමලතිස්ස යන ස්වාමීන්වහන්සේලා තෙනමගේ ආචාර්යත්වයෙන් 1912 ජුනි මස 08 වන දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්ව ඇත. ස්වකීය ගුරුදේව තලගල ධම්මරතන මාහිමිපාණන් අපවත්වීමෙන් පසු 1947 වර්ෂයේදී ඔලබොඩුව රජ මහා විහාරයේ භාරකාරත්වයට පත්ව ජාතික, ආගමික හා අධ්‍යාපනික සේවාවන් රැුසක් සිදුකර ඇත.

ඔලබොඩුව රජ මහා විහාරය ඇතුළු ශාසනික ආයතන කිහිපයකම ප‍්‍රධානත්වය දැරූ ධම්මානන්ද හිමිපාණෝ ඔලබොඩුව මහා විහාර වංශය ශෝභාමත් කර වූ මංගල ගත සලකුළණකි. කොළඹ මාලිගාකන්දේ විදේ‍යා්දය මහ පිරිවෙනින් සිංහල, පාලි, සංස්කෘත භාෂාත‍්‍රයන්ගෙන් ප‍්‍රවීණත්වය ලබා ධර්ම විනය පිළිබද ලබාගත් පාණ්ඩිත්වයෙන් ස්වකීය පැවිදි ජීවිතය ආලෝකමත් කරගත් පඩිරුවනකි.

ආගමික හා ශාසනික සේවාවන්ට අමතරව ජාතික වශයෙන් ද වැදගත් වූ සේවාවන් රැුසකට නායකත්වය දී ඇත. 1958 දී ඔලබොඩුව රජ මහා විහාරස්ථානයේ වඩු කාර්මිකයන් පුහුණු කරන වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, 1981 වර්ෂයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ පේෂකර්ම මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහන් කළ හැක. 2500 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ආගමික සේවාවන් කිහිපයක්ම සිදුකර ඇත. එවකට වැඩසිටි බෝධිසත්ව ගුණෝපේත මහෝ සුමේධ හිමිපාණන් සමග චෛත්‍ය රාජයාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම නෙළුම් මල් වලින් හා විදුලි බුබුලින් සරසා ආමිස පිංකම් කිහිපයක්ම සිදුකිරීම දෙවන ලෝක යුද්ධ සමයේ ඇති වූ ආහාර දුර්භික්‍ෂයට පිළියමක් වශයෙන් වගා ව්‍යාපාරයකට ග‍්‍රාමීය ජනතාව පෙළගැස්වීම රයිගම් කෝරළයේ වැඩසිටි යතිවරයන් වහන්සේලා සමඟ 1956 දී ප‍්‍රගතිශිලි සටන් ව්‍යාපාරයට නායකත්වය ලබාදීම ස්වකීය ආරාමයෙහි මල් පළතුරු සහිත දුර්ලභ ඖෂධ වර්ග රෝපණය කර පරිසර හිතකාමී සෞන්දර්යාත්මක වැඩසටහන් පවත්වාගෙන යාම යන සේවාවන් ද අගය කළ යුතුය. කේශර සිංහ රාජයෙකු මෙන් අයුක්තිය, අසාධාරණය ඉදිරියේ අභීතව නැගී සිටිමින් ලබාදුන් එඩිතර නායකත්වය ඔලබොඩුව විහාර වංශයටම මහත් අභිමානයකි. 1994 පෙබරවාරි මස 02 වන දින වසර 103 ආයු වළදා අපවත් වී වදාළ ඔලබොඩුවේ ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර දීප්තිමත් කළ දිදුළන පහන් තාරකාවකි.

තලගල ශ‍්‍රී ධම්මරතන මාහිමි

ඔලබොඩුව රජ මහා විහාරාධිපතිව වැඩ විසූ බොලබොටුවේ ශ‍්‍රී සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප‍්‍රථම ශිෂ්‍යරත්නය වන්නේ තලගල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේය. තලගල තල්ගහවත්තේ විසූ තලගල මුරගේ බබාඅප්පුහාමි මහතාගේ දරුවෙක් ලෙස 1868 වර්ෂයේ උපත ලබා ඔලබොඩුව රජ මහා විහාරාධිපතිව වැඩ විසූ ඔලබොඩුවේ සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1893 වර්ෂයේදී ප‍්‍රවෘජ්‍යා භූමියට පත්ව ඇත. 1891 මැයි මස 17 වන දින මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී අධිශිල සංඛ්‍යාත උපසම්පදා සම්පත්තියට පත්ව ඇත. ස්වකීය ගුරුදේවයන් වහනසේගේ අපවත්වීමෙන් අධිපති ධූරයට පත්වන ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම පාලන කාලය තුළ මෙම පූජා භූමියෙහි සැලකිය යුතු සංවර්ධනයක් ඇති කළහ.
තලගල ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාලනය කාලය වන විට රයිගම් කෝරළයේ හා මුහුදුබඩ ප‍්‍රදේශවල මිශනාරී ආගමික ව්‍යාප්තියක් ආරම්භ වී තිබිණි. එහෙත් මේ සියලූ අභියෝග පහසුවෙන් ජයගත් මහ තෙරනමකි ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මිශනාරී ආගමික නායකයන් විසින් අස්සක් මුල්ලක් නෑරම තම ආගමික මතවාදයන් ප‍්‍රචලිත කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් දියත් කොට තිබුණේය. විශේෂයෙන් ඔවුන් විසින් තම ආගම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රධාන මෙවලමක් ලෙසට භාවිතා කළේ අධ්‍යාපනයයි. එබැවින් ඔවුන් තම ආගමික ආයතන ආශ‍්‍රිතව පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවලක් දියත් කළේය. විවිධ පහසුකම් යටතේ කි‍්‍රයාත්මක වන මෙම පාසල් සදහා දරුවන් ඇතුළත් කරගෙන ඇත්තේ තම ආගම වැළදගත් අය පමණි.

බොදු දරුවෙකු පාසලකට ඇතුළත් කිරීමේ ගැටළු සහගත තත්වයට පිළියමක් වශයෙන් ධර්මපාලතුමා සමග හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වැනි අය එක්ව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් වූයේ දිවයින පුරා බෞද්ධ පාසල් ආරම්භ වීමයි. 1886 දී ඔලබොඩුව අතුකෝරළගොඩ හන්දියෙහි ඔලබොඩුව සමාගම් පාසල ආරම්භ කෙරිනි. ඒ සදහා මූලික වූ කොරතොට සෝභිත හිිමියන් හදිසියේ අපවත් වූහ. ඉන් අනතරුව භාරකාරත්වය උසුලමින් ඔලබොඩුව පාසල සංවර්ධනය කිරීමට මහත් වෙහෙසක්ගත් රයිගම ස්වර්ණජෝති හිමිපාණන්ගේ ද අපවත්වීම සිදුවිය. නැවතත් මෙම පාසල කෝට්ටේ මිශනාරී සමාගමක් යටතට පත් කිරීමට උත්සහ ගනිද්දී තලගල ධම්මරතන මාහිමිපාණන් වහන්සේ 1907 වර්ෂයේදී ඔලබොඩුව රජ මහා විහාර භූමියෙහි ස්ථාපිත කර එහි භාරකාරත්වයට පත්විය.1 ඔලබොඩුව රජ මහා විහාරයෙන් දිවයිනේ වෙනත් ප‍්‍රදේශවල අනුබද්ධ ශාඛා ආයතන බිහිවන්නේ ද ධම්මරතන මාහිමියන් වහන්සේගේ පාලනය කාලය තුළය. පිටිපන සේනානායකාරාමය(උත්තරාරාමය*, කුරුගල ශෛලන්තරාරාමය, හොරගල ගුණතිලකාරාමය හා තලගල මංගලාරාමය යන ආයතන සඳහන් කළ හැක. ඔලබොඩුව විහාර වංශයෙහි ආරම්භය සිදුවන්නේ ද ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාලන කාලය තුළය. ඔලබොඩුවේ ධම්මානන්ද, හෙයියන්තුඩුවේ රේවත, තලගල වනරතන, වීදියගොඩ පේමරතන, කුඹුකේ ගුණතරන හා තලගල ආනන්ද යන සත් නමක් සසුනට දායාද කළහ.

පූජ්‍ය උඩුවේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයෝ

අප විහාරයේ වර්තමාන විහාරාධිපති ධුරය හොබවනු ලබන්නේ අප ගුරුදේවෝත්තම පූජනීය උඩුවේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේය. උන්වහන්සේ අප තත් විහාරයේ විහාරධිපති ධුරයට පත් වී ගත වූ කාල පරාසය වනාහි අප විහාරයේ මෙන්ම ඔලබොඩුව සග පරපුරේ ද ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරති. යනුවෙන් අර්ථ දැක්වීම අතිශෝක්තියක් ලෙස සැලකීම නුසුදුසුය. එසේම අප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔලබොඩුව රජ මහා විහාරයේ වර්තමාන සංවර්ධනයේ ප‍්‍රධාන නියමුවා ද වන්නේය. ව්‍යවහාර වර්ෂ 1961 වර්ෂයේ පූජනීය වීදියගොඩ පේමරතන මහ තෙරුන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් පැවිදි බිමට පත් වූ අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ හොරණ විද්‍යාරත්නයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් ධර්ම ශාස්ත‍්‍රය හදාරා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත‍්‍රවේදී උපාධිය ද ලබාගෙන මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේදී උතුම් වූ උපසම්පදා ශීලයට ද පත් වී උසස් වූ තම ශාසනික මෙහෙය ආරම්භ කළ යතිවරයාණන් වහන්සේ නමකි.

තව ද අප උඩුවේ හේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම කාරුණික සේවය ආගමික අංශයට පමණක් සීමා නොකර අධ්‍යාපනික අංශයට ද යොමුකොට ලංකාවේ විවිධ පළාත්වල පාසල් ගණනාවකම ගුරුවරයෙකු වශයෙන් දහස් ගණනක් වූ සිසු දරු දැරියන්ගේ නුවණැස පෑදීම පිණිස කටයුතු කළේය. මෙසේ අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ හම්බන්තොට, කිරම ධම්මානන්ද විද්‍යාලය ආදී ඈත දුර බැහැර ප‍්‍රදේශවල පිහිටි පාසල්වල පවා සේවය කරනු ලැබීය. මේ අතර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ් ගුරුවරයාණන් වහන්සේ වූ වීදියගොඩ පේමරතන මහ තෙරුන් වහන්සේගේ ගුරුවරයා වූ ඔලබොඩුවේ ධම්මානන්ද ලොකු හාමුදුරුවෝ මහලූව වයස්ගතව රෝගාතුර වී ඔලබොඩුව රජ මහා විහාරයේ වැඩසිටි අතර උන්වහන්සේ රැකබලා ගැනීමටත් තත් විහාරයේ කටයුතු සිදු කිරීමටත් අපේ හාමුදුරුවන් වහන්සේට පැවරුණු බැවින් උන්වහන්සේ ඔලබොඩුව රාජ මහා විහාරයට වැඩමකොට තම ආචාර්ය පදවිය ද ඔලබොඩුව විද්‍යාලයට මාරුකරගනු ලැබීය. එතැන් සිට විශ‍්‍රාම යන තෙක්ම ඔලබොඩුව ශ‍්‍රී සුමංගල මහා විද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ අතරම ඔලබොඩුව රජ මහා විහාරයේ අධිපති පදවියට 1994 දී පත් වූ අප ලොකු හාමුදුරුවන් වහන්සේ අද පවතින තත්වයට ගෙන ඒම පිණිස සියලූ කටයුතු සිදු කළ මහා වීරයාණන් වහන්සේ විය.

පැවිදි දිවියේ සීමාව නිතරම මෙනෙහි කරමින් උපාදානයෙන් තොරව මේ භෞතික වූ විහාර දේවාලයන් පාලනය කරන්නේ කෙසේ ද යන පාඩම ලෝකයාට කියා දෙමින් පැවරිය යුතු දෙය, පැවරිය යුතු වේලාව, පැවරීමට සුදුසු පුද්ගලයාට පවරමින් නිරාමිස වූ පැවිදි දිවියක් ගත කරන අප ලොකු හාමුදුරුවන් වහන්සේ වර්තමාන සඟ පරපුරට ලබාදෙන පූර්වාදර්ශය සුළුපටු නොවේ.

වර්තමාන විහාර පරිපාලනයේදී අප සංඝරත්නය කායිකව මෙන්ම මානසිකව ද මහත් වූ වෙහෙසට පත් වන්නේය. එහෙත් අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැදීමක් නොමැතිව, ඇලීමෙන් තොරව විහාරයන් පාලනය කරන්නේ කෙසේ ද යන්න අපට කියා දෙන්නේය. එසේම මේ කුමන කටයුත්තක් නිසා හෝ පැවිදි දිවියේ අභිමතාර්ථයන් බිඳීයාමට ඉඩ නොදිය යුතුය යන අදහස ඉදිරිපත් කරන උන්වහන්සේ පැවිදි දිවියේ නිරාමිස මෙන්ම පිරිසිදු භාවය ද රැකගෙන එය රැුක ගැනීම පිණිස අප ද පොළඹවන උත්තම ගනයේ යතිවරයාණන් වහන්සේ නමකි.

සතර පේරුවේ දායක ගම් රාශියකින් සමන්විත ඔලබොඩුව රජ මහා විහාරයට අයත් දායක කාරකාදීන්ගේ මෙන්ම රජ මහා විහාරයට සම්බන්ධ සියලූ චාරිත‍්‍ර හා වත් පිළිවෙත් කිසිදු බරකින් හෝ වෙහෙසකින් තොරව ඉටු කරන අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවතින තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ද වැඩම කරමින් එහි වැඩසිටින භාවනා යෝගී භික්ෂු සංඝයාට මෙන්ම යෝගාවචර උපාසක උපාසිකාවන්ට ද සුදුසු කමටහන් දෙමින් ඔවුන් ආර්ය මාර්ගයට යොමුකරමින් තමන් ද කර්මස්ථාන වඩමින් කටයුතු කරන ආකාරය පුදුමාකාරය. මෙසේ ආමිසය විසින් ඇතිකරන පීඩනයෙන් මිදී විදර්ශනාගතව කටයුතු කරන්නේ කෙසේ ද එලෙස කටයුතු කිරීම වනාහි ආර්ය භික්ෂුවකගේ සීමාව බව අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුවෙන් නොපවසා හදවතට කියාදෙනු ලබන්නේය.

ඔලබොඩුව රජ මහා විහාරයේ පෞරාණික ප‍්‍රාසාද කරනය

පුරාවිද්‍යා ස්මාරක

  1. පෞරාණික විහාර මන්දිරය
  2. පෞරාණික උපුල්වන් ශ‍්‍රී විෂ්ණු මහා දේවාලය
  3. ඓතිහාසික උපුල්වන් ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය
  4. ඓතිහාසික ඇසතු බෝධින් වහන්සේ
  5. ඓතිහාසික නා බෝධීන් වහන්සේ
  6. ශෛලමය විහාර ගෘහයෙහි පාදම
  7. පෞරාණික බණ මඩුව
  8. ශෛලමය පැන් පොකුණ 01
  9. ශෛලමය පැන් පොකුණ 02

පෞරාණික විහාරාංග

10.වෙහෙර වහන්සේ
11.සංඝාවාසය සහිත දාන ශාලාව
12.ශෛලමය ඝණ්ඨාර ස්ථම්භය
13.ගම්භාර දේවාල මන්දිරය
14.ගණදෙවි දේවාලය
15.පැරණි පාසල් ශාලාව

නව විහාරාංග

16.සර්වඥ ධාතු මාළිගාව
17.හේවිසි මණ්ඩපය, තේවාභාර කුටිය, වන්දනා ශාලාව, මංගල ඇත් පීඨිකාව
18.උපෝසථාගාරාය
19.දෙවි විමනක් බ`දු පිරිත් මණ්ඩපය
20.සියම් විහාරය සහිත ධර්ම මනදිරය
21.අටවිසි බුද්ධ මන්දිරය
22.බෝධි මළුවෙහි වන්දනා ශාලාව
23.මලසුන් ගෘහය
24.සැරියුත් මුගලන් දෑගසව්වෝ
25.ෂඞ් මහා දේව මන්දිරය
26.නව බෝධි මණ්ඩපය
27.නවම් පෙරහර මාවත
28.නිශ්ශංකමල්ල රජ මාවත
ඔලබොඩුව රජ මහා විහාරය හා රයිගම්පුර උපුල්වන් ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය යන පෞරාණික ඉදිකිරීම් මෙම පූජා භූමියෙන් හමුවන විශිෂ්ඨ ගනයේ විහාරාරාම නිර්මාණයන්ය. මෙහි කලාත්මක ගෘහ නිර්මාණය පිළිබදව යුග කිහිපයක් යටතේ හදුන්වා දිය හැක. එකී ගෘහ නිර්මාණ තාක්ෂණය පුරාණ මෙන්ම නූතන ඉදිකිරීම් වලින් සමන්විත වන්නේය